භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම දියුණු කරල, ඉහළම තලයට දියුණු කරල එය අපට පෙන්වා වදාළා. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු.

ලෝකයේ සිත දියුණු කරන සුළු පිරිස අතරට ඔබත්…


ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ සඳහා ඔබට සිතන්න පුළුවන්කම තිබිය යුතුයි. ඔබට බැරි නම් කල්පනා කරන්න, ඔබට සිත දියුණු කරන්න බැරිව යනවා. බොහෝ දෙනෙක් මේ සිත දියුණු කරන්නේ නෑ. මේ ලෝකේ ස්වල්ප දෙනයි සිත දියුණු කරන්නේ. අන්න ඒ ටික දෙනා අතරට ඔබට පැමිණෙන්නට පුළුවනි. බොහෝම සිහි කල්පනාවෙන් යුතුව, බොහෝ අවධානයෙන් යුතුව මෙය හදාරන්න.

භාවනාවට ඔබත් සුදුස්සෙක්ද?

බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සිත දියුණු කරපු කෙනෙක් කියලා ඔබ තුළ තියෙන ප‍්‍රසාදය ඉතා වැදගත්. මේකට කියනවා ශ‍්‍රද්ධාව කියලා. සිත දියුණු නොකරපු කෙනෙකුගේ උපදෙස් වලින් අපට සිත දියුණු කරන්න බෑ. අපිට සිත දියුණු කරන්න පුළුවන් වන්නේ සිත දියුණු කරපු කෙනෙකුගේ උපදෙස් වලින්මයි. ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කවුරුවත් මුණ ගැහෙන්නෙ නෑ. ඒ තරමටම උන්වහන්සේ සිත දියුණු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උපදෙස් උන්වහන්සේ ජීවිතය ගැන කියා දීපු දේ හොඳින් දැනගෙන ඒ දැනගත් කරුණුවලට අනුව ජීවිතය හසුරුවාගන්න පුළුවන් වුණොත් ඔබ භාවනාවෙන් දියුණු වෙන්න සුදුසුකම් ලබනවා.

ඔබට පහසුවෙන් පුහුණු කරගැනීමට හැකි භාවනා කිහිපයක් විස්තර සමගින්….